Saturday, November 13, 2010

ක්‍රීඩාවේ ව්‍යාප්තිය හා නව ප්‍රවණතා.............

                 මානව ශිෂ්ඨාචාරය ආරම්භයට පෙර සිටම 'ක්‍රීඩාව' පැවති බව බොහෝ මානව විද්‍යාඥයෝ විශ්වාස කරති. ක්‍රීඩාව මානව ශිෂ්ඨාචාරයේ ප්‍රගමනය හා ඍජුවම බැදී පවතින  බැවින් සංකෘතිය, කලාව, සංගීතය, සදාචාරය හා නීතිය වැනි අංශ වල සංවර්ධනයේ ප්‍රධාන බලවේගයක් ලෙස ක්‍රීඩාව බලපෑ බවත් Johan Huiznga නැමැති මානව විද්‍යාඥයා ඔහුගේ Homo Ludens(Man the player) නැමැති කෘතියෙහි සඳහන් කරයි. මේ අනුව ක්‍රීඩාව සමාජ සංවර්ධනයටත් සමාජ සංවර්ධනය ක්‍රීඩාවටත් අන්‍යෝන්‍ය ලෙස බලපෑමක් කර ඇති බව පැහැදිලි වෙයි. ක්‍රීඩා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. එනම් සංවිධානයෙන් වැඩි ක්‍රීඩා හා සංවිධානයෙන් අඩු ක්‍රීඩා ය. සංවිධානයෙන් වැඩි ක්‍රීඩා වලට ප්‍රධාන ක්‍රීඩා යැයිද කියනු ලැබේ. සංවිධානාත්මක ක්‍රීඩා වල ලක්ෂණ සමහරක් නම් දැඩි නීති රීති තිබීම, අර්ථකථනය වැඩි සම්පත් අවශ්‍ය වීම, සංකීර්ණ විනිශ්චයක් තිබීම ආදියයි. සංවිධානයෙන් අඩු ක්‍රීඩා වල නීති රීති අඩුය. සම්පත් විනිශ්චය, නීති රීති අර්ථකථනය කිරීම අඩුය. සමහර අවස්ථාවන්හිදී භූමි භාවිතයෙන් තොරව වුවද මෙම ක්‍රීඩා කළ හැකිය.

            
                                    
                            ප්‍රධාන ක්‍රීඩාවක එක් දක්ෂතාවක් හෝ දක්ෂතා රශියක් ප්‍රගුණ කිරීම සඳහා යොදා ගන්නා, නීතිරීති අඩු, විනිශ්චයකරුවන්, සම්මත මිමිව්ලින් යුත් ක්‍රීඩා පිටි, අනවශ්‍ය ක්‍රීඩා අනු ක්‍රීඩා නම් වේ. දෙදෙනෙකු අතර හෝ එකිනෙකා අතර හෝ කණ්ඩායමක් අතර එම අවථාවේ පවතින සම්පත් උපයොගී කර ගනිමින් සහජ හැකියා, ආශාවන් තෘප්තිමත් කිරීම සඳහා නිර්මාණය කරන ලද ක්‍රීඩා සුළු ක්‍රීඩා නම් වේ.
                           නූතන් විද්‍යාත්මක, ඉලෙක්ට්‍රොනික, පරිගණක සංවධනයන් ක්‍රීඩා ක්ෂේත්‍රය කෙරෙහිද බෙහෙවින් බලපා තිබේ. සමහරක් යහපත් බලපෑම් වන අතර, සමහරක් අයහපත් බලපෑම් බවට පත්ව ඇත. ඈත අතීතයේ ක්‍රීඩා තරඟ පැවතියේ ස්වාභාවික භූමිභාගයක් මතය. පසු කලෙක සාමාන්‍ය ක්‍රීඩා පිටිවල ක්‍රීඩා තරඟ පැවැත්වුණි. 20 වන සියවසේදී විශේෂ ක්‍රීඩා උළෙලවල් සඳහා විශේෂ ක්‍රීඩා පිටි ඉදිවන්නට විය. මේවා හුදෙක් ක්‍රීඩා පිටි නොව ක්‍රීඩා සංකීර්ණයන්ය. ක්‍රීඩකයින්ට පමණක් නොව මාධ්‍යකරුවන්ට, සංවිධායකයින්ට විශේෂ ගොඩනැගිලි පහසුකම් ඉදිවිය. මෙම සංකීර්ණ විවිධ නම් වලින් හැඳින්වෙන්න්ට විය.
                            ක්‍රීඩා පිටි සැකැස්මට අමතර්ව නූතන විද්‍යාත්මක දියුණුව, ක්‍රීඩා කෙරෙහි බලපාන්නට වූයේ පුහුණු කිරීම් උපකරණ හා විනිශ්චය ක්‍රම කෙරෙහිය. එහි අහිතකර බලපෑම් දක්නට ඇත්තේ සමහර ක්‍රීඩකයින් උත්තේජක හා වෙනත් ඖෂධ භාවිත මඟින් සිය දක්ෂතා වැඩි දියුණු කර පෙන්වීමට හුරුවීමය. දැනට මේවා විද්‍යාත්මක විශ්ලේෂණ මඟින් සොයා ගැනීමට හැකියාවක් ඇතත් අනාගතයේදී ඉතා සියුම් සහ සංකීර්ණ තත්ත්වයන් උද්ගතවීමට පුළුවන.
                            ක්‍රීඩා තරඟ විනිශ්චය සඳහා භාවිතා කෙරෙන සියුම් ඉලෙක්ට්‍රෝණික උපකරණ කෙරෙහි දුරස්ථ පාලන ක්‍රම මඟින් බලපෑම් කිරීමට හැකියාවක් ඇත. මුළු මහත් ලෝකයම වානිජකරණයට යටවී තිබේ. ක්‍රීඩා ක්ෂේත්‍රයද ඉන් මිදී නැත. මේ අනුව අනාගතයේදී සමහර ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුදල් හමුවේ ස්වකීය දක්ෂතාවයන් හා ජයග්‍රහණයන් පාවාදීම් ගැන තොරතුරු අසන්නට ලැබෙනු ඇත. දුරස්ථ පාලක ක්‍රමයන් මඟින් ක්‍රීඩකයන් හා ක්‍රීඩා උපකරණවල ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීමට මෙන්ම අක්‍රීය කිරීමටද හැකිවනු ඇත.
 
Author:- S.A.Anusha Harshani Samaraweera
Email:- anuash119@gmail.com
Batch:-32
Group:- Aurora

No comments:

Post a Comment